කාන්තාව පිළිබඳව ජාතක කතාකරුවා දැක්වූ මානව හිතවාදී සර්ව සාධාරණ දෘෂ්ටිය චන්දකින්නර ජාතකයෙන් නිරූපනය වේ. නිදසුන් දෙමින් මේ අදහස පැහැදිලි කරන්න.
පන්සිය පනස් ජාතක පොත රචනා වූයේ පාලි ජාතකට්ඨ කතාව නම් වූ ග්‍රන්ථයක් මුල් කරගෙනය. ජාතක කතාකරුවා කාන්තා චරිත නිරූපණයේ දී පොදුවේ අනුගමනය කර ඇත්තේ එතරම් හිතකර සර්ව සාධාරණ දෘෂ්ටියක් නොවේ. ජාතක කතාවලින් අනාවරණය වන්නේ ස්ත්‍රිය පිළිබඳ නින්දා සහගත දෘෂ්ටියකි. කාන්තාවන්ට නිග්‍රහ කිරීම ජාතක කතාකරුවාගේ ප්‍රියමනාප විෂයයි. "මාතුගාමයෝනම් රැක්ක නොහැක්කාහුමය" යන පාඨය බොහෝ ජාතක කතාවල ඇත. ජාතක කතා අතර ගැහැනුන්ගෙ උදාර පක්ෂය කියැවෙන කතා ඇත්තේ ස්වල්පයකි. සම්බුලා ජාතකය, වෙස්සන්තර ජාතකය, සඳකිදුරු ජාතකය ඒ අතර කැපී පෙනෙයි.
චන්දකින්නර ජාතකයේ වර්තමාන කතාව ප්‍රථමයෙන් විමසා බලමු. බුදුන් වහන්සේ සුද්ධෝදන රජුගේ මාළිගාවට පැමිණි දවසේ සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේ අමතා කළ ප්‍රකාශයකින් යශෝධරා දේවියගේ උත්කෘෂ්ට ස්වාමි භක්තියත් පතිව්‍රතා ධර්මයත් මනාව නිරූපණය කරයි. ඇගේ උදාර චරිත ලක්ෂණ තුළින් ගැහැණිය අරභයා මානවවාදී හැඟීම් අප තුල උපදී.
"ස්වාමීනි මාගේ යෙහෙලිතොමා නුඹ කෙරෙහි ස්නේහයෙන් මහබිනික්මන් කොට කසායවස්ත්‍රයක් පෙරවිය යනු අසා තුමූ අඞගරාග නොගැල්වූ විරූය. නුඹ වහන්සේ එක්වෙල් වලඳති යනු අසා තුමූද එකභක්තයෙන් යැපෙන්නාහ. තවද නුඹ වහන්සේ මහණවූ බව අසා සෙසු රජ දරුවන් එවූ පඬරු නොගෙන නුඹ වහන්සේ කෙරෙහි ස්නේහයෙන් වැන්දඹුව ජීවත්වූ යේ ඉතා ආශ්චර්යය යැයි සිතමි ස්වාමිදරුවානනි."
යශෝදරාවන් පිළිබඳව කර ඇති මෙම වර්ණනය ඉතා උත්තරීතර කාන්තා රත්නයක් පිළිබදව හැගීම් සහෘද ජනයා ගේ සිතේ ජනිත කරයි. එක වේලක් ආහාර ගෙන බිම නිදමින් කහ වස්ත්‍ර පොරවාගෙන තම සැමියා වෙනුවෙන් කටුක ජීවිතයක් ගත කිරීමට ගත් තීරණය ස්ත්‍රියගේ උදාරත්වය කියාපාන ස්ත්‍රීන් කෙරෙහි අප තුළ ඇල්ම දක්වන අවස්ථාවකි. ජාතක කතාකරුවා අතින් නිරූපිත ස්ත්‍රී චරිත බොහොමයක් එබඳු චරිත නොවේ. අන්ධභූත ජාතකයේ තරුණ බැමිණිය, චුල්ලධනුද්දර ජාතකයේ කුමරිය, දෘෂ්ට කාන්තා චරිත ලෙස නිර්මාණය වී ඇත. නමුත් යසෝදරාවගේ චරිතය ස්ත්‍රී රත්නයක් ලෙස නිරූපණය වී ඇත.
චන්දකින්නර ජාතකයේ අතීත කතාව මීළඟට විමසා බලමු. එම කතාව නිර්මාණය වී ඇත්තේ යසෝදරාවන්ගේ උත්තරීතර චාරිත්‍රය අතීත කතාවක් ඇසුරෙන් තවදුරටත් සනාථ කිරීමටය. සත්ව චරිත යොදාගෙන මානව චරිතය විවරණය කිරීමට ජාතක කතා කරුවන් දැක්වූ කුසලතාවය කියාපාන චන්ද කින්නර ජාතකය ස්ත්‍රි වර්ගයා කෙරෙහි අනූපම ( උපමා කළ නොහැකි ) දයාවක් නිර්මාණය කළ කතාවකි.
කිඳුරු යුවල නටමින් ගයමින් සිටින අවස්ථාවේ ඇගේ රූපශ්‍රීය කෙරෙහි වශීකෘත වූ රජතුමා කිඳුරා විද මරා කිඳුරිය ලබා ගැනීමට තීරණය කළේය. රාගයේ භයංකාරත්වය පිළිබඳව පැවසෙන මේ අවස්ථාවෙන් ජාතක කතාකරුවා හෙළිකරන්නේ කාන්තාවගේ චරිතයේ උතුම් පැත්තකි. ශර පහරින් බිම වැටුණු තම ස්වාමි පුත්‍රයා දැක ශෝකය දරාගත නොහැකිව කිඳුරිය මහ හඬින් හැඩුවාය. ඒ අවස්ථාවේ බරණැස් රජතුමා කිඳුරියගේ රූපයෙන් මත් ව මෙසේ යෝජනා කළේය.
" තී හඬන්නට කාරණා කවරේදැයි, මම තී පාද පරිචාරිකා කොට සොළොස් දහසක් පුරඟනන් ට අග මෙහෙසුන් කරමි"
වනයේ ජීවත් වූ කිඳුරියකට රන් මාළිගාවක අගමෙහෙසිය වීමට අවස්ථාවක් ලැබුණත් ඇය උදෑසන ඉවත දමන දැහැටි දඬුවක් සේ එය ප්‍රතික්ෂේප කළාය. භෞතික ලාභාපේක්ෂාවන් අරමුණින් තම පතිවත බිලිදීමට තරම් කිඳුරිය පටු අදහස් දරන කාන්තාවක් නොවූවාය. ඈ හී පාර වැදි තම සැමියා කෙරෙහි දුක් වෙමින් රජුට සාප කරන්නට වූවාය.
"පාපිෂ්ට වූ තා වැනි ද්‍රෝහි මාගේ ස්වාමි පුත්‍රයාණන් මා උදෙසා මැරී නම් මාගේ ස්වාමිපුත්‍රයාට පත් මරණ දුක්ඛය තට වේවායි මට පැමිණියාවූ මේ සෝකය තාගේ අඹුවන්ටද වේවායි, තවද පවිටිවූ රජ තාගේ මව්ද තා නොදැක සොහොන් වදිවයි, තවද දුෂ්ට වූ මහරජ තාගේ ප්‍රජාපති තොම තමන් දරුවන් නොදැක නිරාවදීවයි"
කිඳුරිය මහත් එඩිතරව බරණැස් රජු බව දැන දැනත් මෙසේ ප්‍රකාශ කළේ සිය ජීවිත අපේක්ෂාව ද අතහැරය. ඇය පතිව්‍රතා ධර්මය ස්වාමි භක්තිය පණටත් වඩා අගේ කොට රකින්නී ය. මෙවන් අවස්ථාවන් අසන අප තුළ ස්ත්‍රීන් කෙරෙහි දුර්ලභ වූ අනුකම්පාවක් හා ඇල්මක් උපදී.
" ගිනෙර මල් බඳු ඇස් ඇති මනා ව භාවභාව ලීලා විලාස ඇති චන්දකින්නරා තෝ සෝක නොකරව, ඉදින් තෝ කැමති වී නම් මට බිරින්ද කොට සොළොස් දහසක් පුරාඞගනාවන් මධ්‍යයෙහි රජ කුලෙහි ප්‍රසිද්ධවයි"
දඹදිව් තලයේ අගරජු සකල යස ඉසුරින් පිරි බලවත් රජකු මෙසේ පුන පුනා ආයාචනය කරන විටත් ඒ භෞතික සම්පත් පසෙකලා තමාගේ ස්වාමි භක්තිය පණමෙන් රැකීමට ඇය කටයුතු කළාය. අවසානයේ රජතුමා කොතරම් ආයාචනය කලත් ඇගේ කැමැත්තක් නම් කිසිසේත්ම නොලැබුණි. ජාතක කතා රචනා කළ අපේ පැරැන්නන් ඒවා නිර්මාණය කළේ ජීවිතය තුළ ලැබූ අත්දැකීම් ඇසුරිනි. එම අත්දැකීම් පරම්පරාවෙන් පරම්පරාවට පෙරී පෙරී පැමිණ ජාතක කතා ලෙසින් සංගෘහිත වී ඇති බව මාර්ටින් වික්‍රමසිංහ මහතා පැවසූයේ මේ නිසාවෙනි.
දකින දකින පිරිමියාට ඇලුම් කරන පවිටු සත්ව කොට්ඨාශයක්ය යන බමුණු මතය හෙවත් ගැහැනිය පිළිබඳව ආචීර්ණ කල්පිත මතය චන්දකින්නර ජාතකයේ නැත. සඳකිදුරිය ස්ත්‍රි රත්නයකි. සමස්ථ ස්ත්‍රී වර්ගයාටම චූඩා මාණික්‍යයකි. ඇය නිසා අපේ හදවත් තුළ උපදින්නේ ගෞරවයකි. අවසානයේ ඇය රජු ඉදිරියේ දුන් ප්‍රතිඥාව බලන්න.
" අවලක්ෂණ තො මා නිසා නිරපරාධ වූ මාගේ සමණා මැරීද? ඔහු කෙරේ ස්නේහයෙන් අඬා මියන පමණක් මුත් තොපට පාදචාරිකා වීමෙක් ඒකාන්තයෙන් නො වේ"
කිඳුරියගේ චරිතය ඉතා උත්කෘෂ්ට ලෙස නිරූපණය වන්නේ මෙතැනදීය. ඇය තම ජීවිතය පවා දෙවැනි කොට ස්වාමි භක්තියෙන් යුතුව ක්‍රියා කළා ය. මේ නිසා චන්දකින්නර ජාතකය කාන්තාව පිළිබඳව ප්‍රගතිශීලී දෘෂ්ටියක් අනාවරණය කරන කතාවක් ලෙස අගය කළ හැකිය.
(ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ගම්පොළ)
Comments